BLOG ලිවිල්ල පුද්ගලීකරණයට නව පනතක්. .

Posted on 2011 ජූනි 6

4


රටේ කලබල මැද්දේ බූඩී බ්ලොග් ලිවිල්ල ගැන පණතක් ඉදිරිපත් කරන්න යන්නේ. ඒ බ්ලොග් ලිවිල්ල  පුද්ගලීකරණය කරන්න. මේකට විරෝධය පාන්න එන අයට වෙඩි තියන්න තමා බූඩි අණකරලා තියෙන්නේ. හැබැයි උණ්ඩ දාලා නෙමේ, සීනී දාලා, දන්නවනේ එතකොට මැරෙන්නේ කොහොමද කියලා. පොලිස්පති අයින් කරලා ගිනි නිවන හමුදාපති ඒ නිලයට පත් කරන්නත් සූදානමක් තියෙනවා කියලා තමා පුද්ගලික මාධ්‍යයය කියන්නේ. මේ කලබල මැද්දේ බූඩිට විරුද්ධව කැරලි ගහන්න කට්ටියක් ඇවිල්ලා.  බූඩි කියන්නේ මේක අධිරාජ්‍යවාදී කුමන්තරණයක් කියලා. කව්රුත් අහැට නොදැක්ක මේ පනත් මොන වගේ වෙයිද?

අපිටත් නිකන් ඉන්න බැරි නිසා මේ ගැන හොයන්න පාරට බැස්සා.

පලමුවෙන්ම හම්බුනේ නම කියන්න මැලි වුන බ්ලොග් අධිපතියෙක්. – “මේ බ්ලොග් එක තමා අපේ ව්‍යාපාරය. ඉතින් ඕකට  හම්බෙන ප්‍රතිලාභ තමා යන එන, කියවන පිරිස. අපි කවුරුත් ආසයි නේ වැඩිපුර පිරිසක් අපෙ බ්ලොග් එක කියවනවට, ඒ වගෙම කමෙන්ට්ස් දානවට. ඉතින් ඔව්වා තමා ප්‍රතිලාභ. ඔය පනතෙන් කියවන එන අයට පොඩි කමෙන්ට් එකක් දාන්න අණකරල තියෙනව නම් හොදයි.”

බ්ලොග් පිලිබද ඇමති – “අපි කිසිම දෙයක් කරන්නෑ, අපි කරන්නේ මේ ගොල්ලන්ට පෝස්ට් දාන්න දිරිමත් කරන එක විතරයි. මේක කාලීන අවශ්‍යයතාවයක්. අපි පාර්ලිමේන්තුවට පනත් ගෙනාවාම බලාගන්නකෝ.”

බොහොම අමාරුවෙන් අපි නීතිපති සම්බන්ධ කර ගත්තා – “ප්‍රතිලාභ ගන්න නිකන් බෑ. ආයෝජනය කරන්න ඕනේ. ඉතින් බ්ලොග් ලියනෝ ආයෝජනය කරන්නේ මුදල් නෙමේ කාලයයි. හොද හරවත් ලිපියක් ලියන්න ගතවන කාලය වැඩියි. විකාර පිස්සු ලිපියක් ලියන්න ගතවන කාලය අඩුයි. කතාව කොච්චර රසබරද, කස්ටිය බලනවද කියලා තීරණය වෙන්නේ අපි අපේ ප්‍රජාව කියවන්න කැමති දේ දුන්නොඅත් විතරයි. කොච්චර හර බර වුනත් කියවන්න ආසා හිතෙන විදිහට ලියලා නැතිනම් වැඩක් නෑ. ආයෝජනය වතුරේ. සමහර විට කල් අරගෙන ලියන හරවත් ලිපිය කොච්චර හොද් වුනත් ඒක අපේ පථයට අයත් නොවන්නේ නම් එය කියවන්න වැඩි උනන්දුවක් ඇති වෙන්නේ නෑ. ඒ වගේම ඉතාමත් දිග ලිපි කියවන්න මැලි කමක් අප ප්‍රජාව දක්වන්න පුලුවන්. ඉතින් මේ පනතින් අපි කරන්න හදනේ කියවන්න බැරි විදිහට ලිපි ලියන අයව දැනුවත් කරන්න හදන එක විතරයි.”

ලෝක බැංකු අදිපති – “ඉතින් මේ ඔක්කොම සලකලා ජනප්‍රිය ලිපි ලියන්න බ්ලොග් ලියන්නෝ සිතට ගන්න ඕනේ. ඒ අතර පාඨකයන් වැඩි පුර නොකියෙව්වත් හරවත් දැනුම සපයන ලිපි වෙලා තියෙන හැටියට ලබාදීමෙන් ඔබේ බ්ලොග් ව්‍යාපාරයේ වටිනාකම වැඩිවෙනවා. ඒත් අපි ඔව්වා දන්නේ නෑ, බ්ලොග් එකට කට්ටිය එන්නැතිනම් වැඩක් නෑ. වහලා දාන්න තමා බුඩීට ලෝක බැංකුව වන අපි කියලා තියෙන්නේ.”

බ්ලොග් ලිවීමේ සංසදයේ සම කැදවුකම්කරු – “ගොඩාක් කරුනූ ගලපලා හරියට කලමණාකරණය කරගත්තම පාඨකයන් හොයාගන්න අමාරු නෑ. ඒ වගේම ඉලක්ක හිතේ තියාගෙන වැඩ කරන එකෙන් සිතට පොඩි දිරියක් ලැබෙනවා. මේ මාසය තුල පෝස්ට් කීයක් දානවද? පාඨකයන් කීයක් ගෙන්න ගන්න ඕනෙද? මෙන්න මේවා ගැන හිතලා මේ ව්‍‍යාපාරය කරගෙන යන්න පුලුවන්. මෙන්න මේක කරගන්න බැරි අය තමා අපේ වීරයා ගෙනල්ල තියෙන මේ පනතට විරුද්ධ. මේ විරුද්ධත්වය තරයේ හෙලා දකිනවා.”

බ්ලොග් පිලිබද අන්තර්ජාතික සංවිධානය – “මේ පනත් නිසා හැමදාම හරිම නැවුම් විදිහට බ්ලොග් ලියන එක කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් දවසකට 50 වඩා පාඨකයන් (average) එන බ්ලොග් සාර්තකව පවත්වාගෙන යන බවට පිලිගන්න පුලුවන්. එය 100 ට වැඩිනම් ඉතාමත් අගනේයි. මේ සදහා දවස ගානේ ලිවීම අවශය වන්නේ නෑ. කලමණාකරණය තමා වැදගත්ම දේ වන්නේ. මොන දේ වුනත් බ්ලොග් කරුවන්ගේ අත්දකීම් එක්ක හා දැනුම අනුව සපයන දෑ වෙනස් වෙන්න පුලුවන්. ඒත් හැම දෙයින්ම පාඨකයින් ඇද බැද තබා ගැනීම තමා වැදගත් වන්නේ. මේ පනත ගැන අපේ ස්ථාවරය එයයි”

සමස්ත ලංකා ත්‍රීරොද රථ සමිතියේ සභාපති – “මොනාටද මල්ලී ඔය බ්ලොග්, ඔව්වා ලිව්වට මොනාද හම්බෙන්නේ, එක්සෑම් එකට පාඩම් කරලා ෆ්ස්ට් ක්ලාස් එකක් දැම්ම නම් ඉවරයිනේ, බ්ලොග් ලියන් නැතිව.”

අප අතරින්වෙන්වූ බ්ලොග් කරුවෙකුගේ පෙම්වතියක් – “එයා බ්ලොග් ලිව්වේ හරිම සතුටින්, එක එක දේවල් ගැන ලිව්වා. එක කියවන අය දාන කමෙන්ට් බලලා පොඩි එකෙක් වගේ සතුටු වුනා.ඉතින් මේ ව්‍යාපාරය දිගටම කරගෙන ගියේ එයාගේ ආත්ම සංතුෂ්ටිය වෙනුවෙන්. බ්ලොග් කරුවන්ගේ මෙහෙය ඇගයීමකට ලක්කරන්න නව රජය ගත්ත පියවරට අපි ඉතාමත් සතුටු වෙනවා.”

මහාචාර්යය නන්දසිරි (Phd in බ්ලොග් writing) – “පැත්තකට වෙලා කල්පනා කරද්දි ඔලුවට එන විකාර වගේම, කාලීන හරවත් ලිපි ලියන්න තමා ඉතින් බ්ලොග් එකක් භාවිතා කරන්නේ. කොටින්ම කියනවා නම් අපේ අදහස් ප්‍රකාශ කරන්න පුලුවන් අඩු වියදම් මාධ්‍යයක් ලෙස බ්ලොග් කා අතරත් ප්‍රසිද්ධයි. ඇහැට දැකලා නැති වුනත් සමහර අය බ්ලොග්කරුවන් අතර ඉතාමත් ජනප්‍රියයි. සමහරු භාවිතා කරන්නේ ආදේශ නාම. ඉතින් මේ ඔක්කොම බලද්දි මේ පනත මගින් බ්ලොග් කරුවන්ට පිලිගැනීමක් ලබා දෙන්න තමා හදන්නේ එක ලොකු දෙයක්”

මේ පනත් කුමක්ද තවමත් නිසි අවබෝධයක් නෑ. මෙය කරලියට පැමිනෙන තෙක් අපි අවදියෙන්, හමුවෙමු.