මොබයිල් ෆෝන් පලහි’ලව්’ව

Posted on 2011 ජූනි 12

13


හැමෝම දන්නවනේ මොබයිල් ෆෝන් ගැන ඒ කියන්නේ ජංගම දුරකතන. ඉතින් මේකක් ගන්නවා කියන්නේ හිරයක් ගන්නවටත් වඩා අමාරු වැඩක්. හිරයක් කිව්වේ ස්ත්‍රී පරාණයක් අල්ලන් කසාද බදින එකනේ. ඉතින් කොහොම හරි කාට හරි මොබයිල් ෆෝන් එකක් ගන්න හිතුනම මූණ දුන්න අත්දැකීම් ඇති, මේ මට වුන දේ.

මට මතක විදිහට ඔය මොබයිල් ෆෝන් එකක් කියලා මුලින්ම මීටර් වුනේ අපේ තාත්ත ලග තිබුනු දඩ ගඩොල් කැටේ, හප්පා බලන්න එපැයි. මතක් විදිහට මට ඒක අල්ලන්නවත් දුන්නේ නෑ. අපිටත් ඉතින් මාර ආතල් වගේම මැජික්. Celltel තමා මතක විදිහට කනෙක්ෂන් එක වුනේ, ඒ කාලේ සිම් නෑනේ ඉතින් මුලු යුනිට් එකම එන්නේ. හැබැයි ෆෝන් එක සීමන්ස් වෙන්න ඕනේ. මතක නෑ මොකද එතකොට මං පොඩි බබා නේ.

මේ වගේ එකක් මාර සයිස්. ස්ක්‍රීන් එක නම් මේ තරම්ම ලොකූ නෑ. සෙවන් සෙග්මන්ට් ඩිස්ප්ලේ එකක්. ඊට පස්සේ 1999 විතර එයා මාරු වුනා මොබිටෙල් එකකට ඒත් ඉතින් ඇනලොග් තමා ඒකත්. ෆෝන් එක මෝටරෝලා වගේ තමා මතක. ඒක නම් ටිකක් ෂෝයි. දවසක් එලි වෙනකම් ෆෝන් එක ඔන් එකේ තියලා ෆෝන් එකේ බැටරි බිංදුවට බැහැලා. වැඩ නෑ, මතක විදිහට අලුත් බැටරියක් දැම්මා. ඉතින් මේ වගේ කචල් ගොඩක්. මේ වල ගනන් මිමි නම් මතක නෑ. අලුත් ෆෝන් එක ඉතින් මටත් දෙනවා පාවිච්චි කරන්න, මොකද දැන් බබා ලොකුයි නේ. ඒකෙත් ඉතින් සෙවන් සෙග්මන්ට් තමා. හැබැයි මතක විදිහට ඒකේ Contacts පවා දාන්න පුලුවන් වුනා. වැඩ කිරිල්ල නම් ලේසි නෑ. ඔන්න ඔහොම තමා මම මුලින්ම ෆෝන් එකක් ඇල්ලුවේ.

කොහොම හරි ඊලගට ආවේ Nokia ෆෝන් එකක්, ඒ 2001 හරියටම මතක නෑ. Nokia 3310 කියන ෆෝන් එක. හප්පා මට මතකයි ඒක ගත්තේ 9,000/= කට. දැන් නම් 500/= කටත් දෙන්න බෑ. ඒත් තාම වැඩ.  බූඩිටම කියලා ෆෝන් එකක් ගත්තේ 2004, ඒ Nokia 6600 හප්පා මරු කැමරා එකකුත් තියනවා. ඊට පස්සේ Sony Erricson Z200 ෆොල්ඩින් ෆෝන් එකක්. ඊලගට Nokia 2260 (හරියටම මතක නෑ), Nokia N73 විදිහට තමා බූඩිගේ ෆෝන් පාවිච්චි වුනේ. ලගකදි වෙනකම් පාවිච්චි කරපු Nokia N73 එක ලෙඩ දෙන්න ගත්තු නිසා හිතුවා අලුත් ෆෝන් එකකට මරු වෙන්න. Nokia නම් කියලා වැඩක් නෑ. බිම වැටුනත් වැඩ. ඔය 3310 එක එහෙම අනන්තවත් වැටිලා ඇති තාම වැඩ නේ. තාමත් ගොඩක් දෙනා මේ 3310 භාවිතා කරනවා. ඔන්න දැන් තමා මාර පුරස්නේ.

මෙච්චර කල් ඉතින් ෆෝන් ගත්තේ කඩේට ගිහින් ටිකක් හොයලා බලලා, යාලුවන්ගෙන් අහලා නේ, මොකද Net එකේ තියෙන හැම ෆෝන් එකක්ම ලංකාවේ නෑ නේ. දැන් එහෙම බෑ ඔපෂන් ගොඩාරියයි. බ්‍රෑන්ඩ් වැහි වැහලා. ඉතින් ෆෝන් එකක් ගන්න ගියාම පිස්සු හැදෙනවා.

මොනා කරන්නද පිස්සු හදා ගන්නැතිව වැඩේ කරගන්න බූඩි මෙන්න මෙහෙම ප්ලෑනක් ගැහුවා. ඒ හොද SMART Phone එකක් ගන්න. කැමතිනම් ෆලෝ කරන්න වැඩේ ලේසිවෙනවා.

1) මුලුන්ම කරන්න ඕනේ ගන්න යන ෆෝන් එකේ අගය තීරණය කර ගන්න එක, එක එක ෆෝන් වල එක එක ගණන් ඒත් ඉතින් සාමාන්‍ය භාවිතයට රු. 30,000 ට අඩු ෆෝන් එක්ක ඇති. වැඩිම වුනොත් සල්ලි තියෙනව නම් රු. 40,000 ක් උපරිම ගියොත් ඇති, මේ ඉතින් මගේ මතේ. ඉතින් මම හිතුවේ 30,000 ට අඩු ෆෝන් එකක් ගන්න.

2) ඉතින් ඊ ලගට ඕන කරන මොඩල් එක, ෆොල්ඩින්ද, බාර් ටයිප් ද, ස්ලයිඩින් ද මේ වගේ ටයිප් එක තෝර ගන්න ඕනේ මුලින්ම. ඒ වගේම ටච් එකක්ද නැද්ද, කියන එකත් තෝර බේර ගන්න ඕනේ. දැන් කාලේ ට්‍රෙන්ඩ් එක ඉතින් ටච් නේ. ඉතින් මාත් ටච් ෆෝන් එකක් ගන්න හිතුවා. ට්‍රෙන්ඩ් එක නිසාම නෙමේ කැමත්තක් තිබුනු නිසා. මම ස්ලයිඩින් හා ෆෝල්ඩින් වලට කැමති නෑ. ඉතින් දැන් වැඩේ ලෙසියි.

3) මී ලගට බ්‍රෑන්ඩ් එක, දැන් මාර ගොඩක් නේ බ්‍රෑන්ඩ් තියෙන්නේ. හොදම වැඩේ හොද බ්‍රෑන්ඩ් එකකට යන එක. හොද කිව්වේ නම ගිය එකකට. Nokia, Samsung, Soney Erricson වගේ. මේක ඉතින් තම පුද්ගලික කැමැත්ත මත තමා තීරණය වෙන්නේ. මම ආස Nokia වුනත් මේ පාර වෙන බ්‍රෑන්ඩ් එකකට යන්න හිතා ගත්තා.

4) දැන් වැඩේ හරි මීලගට මොකක්ද කරන්න ඕනේ. දැන් තමා අමාරුම කොටස. පොඩි ප්‍රශ්නයකට උත්තර ඕනේ. “මට ෆෝන් එකක් ඕනේ මොකටද?”, ඉතින් මේ කට උත්තර දෙන්න. එතකොට පෙනේවි අපිට ෆෝන් එකෙන් වෙන්න ඕනේ මොනාද කියන එක. මගේ පිලිතුර වුනේ.

–ලස්සන වෙන්න ඕනේ, කැමරාවක් ඕනේ (සාමාන්‍ය කොලිටි එකක් වුනාම ඇති), සිංදු අහන්න ඕනේ FM ඕනේ, බර අඩු වෙන්න ඕනේ, ඇප්ස් ඇඩ් කරන්න පුලුවන් වෙන්න ඕනේ, තව ඇන්ඩ්‍රොයිඩ් වෙන්නත් ඕනේ–

ඉතින් ඔය ඕන එපා කම් වලට අනුව ෆෝන් එකක් හොයාගන්න එක තමා ඊලග මිෂන් එක, දැන් කොහොමද ඒක කරන්නේ. ඔන්න ඔතනදි තමා නව තාක්ෂනේ යොදාගන්න ඕනේ. මෙන්න මේ ලින්ක් එකෙන් වැඩේ කරගන්න පුලුවන්. http://www.gsmarena.com/search.php3

මේකට ඕන කරන දත්ත ඇතුලු කරාම පෙන්නාවි මේ සියලු දේ ඇති ෆෝන් ලිස්ට් එක. ඉන්පසු ඔබට කැමති ලෙස එකක් තෝරා මිලදී ගත හැකියි.

5) මිලදී ගැනිමට ඊබේ හෝ දේශීය කඩ තෝරා ගත හැකියි. හැම විටම ගෙන්වන ඩීලර් කෙනෙක් හෝ බලයලත් වෙලද සමාගමක් තෝරා ගන්න. පිට කොඩුවේ කඩ වලින් මිලදී ගැනීම නම් එතරම් නුවණට හුරු නෑ. ඊ බේ හි ඇති ගාන අඩු වුවද සමහර විට බදු සමග එහි වටිනාකම දේශීය මුදල් ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුලුවන් ඒ වගේම දේශීය කඩේ ගාන, ඊබේ වලට වඩා රු. 2000 ක් 3000ක් වැඩි වුනත් වගකීම එක්ක බලද්දි එය නොගැනිය හැකි වෙන්න පුලුවන්. ටච් ෆෝන් වලට වගකීමක් ඇතිව ගන්න පුලුවන් නම් හොදයි. ඉතින් මේ ගැන සලකා බලන්න.

6) තව ඔබ අත්පිට මුදලට නැතිව ගෙවීමේ ක්‍රමයට ගන්න හිතනවා නම් අනිවාර්යයෙන්ම ඒ ගැනත් සිතන්න. ප්‍රමුඛ ෆෝන් වෙලද සමාගම් මේ පහසුකම දැන් ලබා දෙනවා.

ඉතින් මේ කරුනූ වලින් පස්සේ හිත ගිය මාදිලිය තෝරා මිලදී ගන්න.

අන්තිමේදි මම නැවතුනේ Samsung Galaxy Mini s5570 කින්. ලංකාවේ කොහේවත් නෑ, Samsung Galaxy Pop එක තමා තියෙන්නේ. අඩුම තරමේ Authorized Dealer  වත්, ඒත් හොයන්නාට සම්බවෙයි කියලා අන්තිමේ දී Vayu ලා ගෙන් ගන්න පුලුවන් වුනා මාස 12 කින් ගෙවන්න. ඊබේ එකේ තිබුනා ඒ මෙහේ ගානට වඩා රු. 5000ක් විතර අඩුවෙන්. ඒත් ඉතින් වගකීම නිසා ලංකාවෙන්ම ගන්න හිතුවා. ඒක නිසා හොයලා බලන්න. කොහේ හරි තියෙන්න පුලුවන්.