බොරු කරුණු අඩංගු රාවය ලිපියට විරෝධය

Posted on 2011 ජූනි 20

2


රාවය කර්තෘ මණ්ඩලය, රාවය පුවත්පත, 83, පිළියන්දල පාර, මහරගම.

රාවය ප්‍රධාන කතෘතුමනි,

රාවයපුවත්පතේජුනි මස 19 වනදා,ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර මහතා විසින් පලකර තිබූමෘදුකාංග තහනම සහ පරිගණකය වරප්‍රසාද ලත් පන්තියක බූදලයක් කිරීම නැමැති ලිපිය සම්බධවයි.

ජුනි මස 19 වනදා පල කිරීමට නියමිතව තිබූ මෙම ලිපිය ජුනි 18 වන දින ඔබ පුවත්පතෙහි වෙබ් අඩ්වියෙහි http://www.ravaya.lk/articals.php?d=2723d092b63885e0d7c260cc007e8b9d නැමැති වෙබ් ලිපිනය යටතේ පලවිය. ඉහත සදහන් කරන ලද ලිපියේ සදහන් වූ යම් නිවැරදි නොවන කරුනූ සම්බන්ධව, දැඩි විරෝධය මෙමගින් පලකර සිටින අතර මෙම ලිපියේ අන්තර්ගත නිවැරදි නොවන කරුනූ නිවැරදි කරන ලෙස මෙමගින් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙම කරුනු උපුටාගැනීම් සහිතව හා ස්ථාවරය සහිතව පහත ගොනු කොට ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් ඔබ පුවත්පතේ කාරුණික අවධානය යොමුවනු ඇතැයි අපි විශ්වාස කරමු.

  1. ශ්‍රී ලංකාවට ඇඩෝබි ෆොටෝෂොප් මෘදුකාංගය ගෙන්වන එක්තරා ආයතනයක් පෙන්වා දෙන පරිදි ඒ සඳහා ඇඩෝබි මෘදුකාංග රාශියක් අඩංගු (ඇඩෝබි ෆොටෝෂොප්, ඉලස්ටේ්‍රටර්, ඉන් ඩිසයින්, ෆ්ලෑෂ්, ෆයර්ෆොක්ස්, ඇක්රොබැට්, බි්‍රජ්ස්) ඇඩෝබි ක්‍රියේටිව් සූට් පැකේජය මිලදී ගතයුතු වන හෙයිනි. ”ප්‍රථමයෙන්ම ෆයර් ෆොක්ස් යනු වෙබ් බ්‍රව්සරයක් බව හා එය නිහස් මෘදුකාංගයක් බවත්, එය කිසිසේත්ම ඇඩෝබි සමාගම හා සම්බන්ධයක් නොමැති බවත් සදහන් කල යුතුය. එලෙසම එය ඇඩෝබි ක්‍රියේටිව් සූට් පැකේජය තුල අඩංගු නොවේ.
  2. ඒ නිසා තමයි මේ ගැන විශේෂයෙන් රිසර්ච් කරන ආයතනයක් මේ රටේ කිසිම විශ්වවිද්‍යාලයකවත් ආරම්භ නොවුණේ.“ 

    නිදහස් මෘදුකාංග සංවර්ධනය සදහා රට තුල ඇති සංවිධාන හා ප්‍රජාවන් පිලිබද මෙම ලිපියේ කතෘ දැනුවත් වී ඇති බවක් නොපෙනේ. මේ සදහා ලංකාව තුල කිසිම ආයතනයක් නොවන්නේ නම් කොලඹ විශ්වවිද්‍යාලය හි පිහිටුවා ඇති ලංකා මෘදුකාංග පදනමෙහි විද්‍යාගාරය කුමක්ද?

  3. ඒ නිසා අපිට ඕපන් සෝස් මෘදුකාංග අරගෙන අපිට ඕනෙ විදිහට ඩිවලොප් කරන්න බැරිවෙලා තියෙනවා. මොකද ඒවා තියෙන විදියටම අරන් පාවිච්චි කරන එක එච්චර ප්‍රායෝගික නෑ
    මේ සදහා ප්‍රති ප්‍රශ්නයක් යොමු කිරීමට කැමැත්තෙමි. ඔබ සදහන් කරන ආකාරයට Microsoft සමාගමේ මෙහෙයුම් පද්ධති ශ්‍රී ලංකාව සදහා වෙනම සංස්කරණයක් නිකුත් කරනවාද?

තවද රට තුල ඇති නිදහස් මෘදුකාංග සංවර්ධන ව්‍යාපෘති ගැන මෙම ලිපියේ කතෘතුමාගේ දැනුම ඉතාම මද බව පෙනී යන්නේ මෙමගිනි. ලෝපතල නිදහස් මෙහෙයුම් පද්ධතියක් වන Fedora මෙහෙයුම් පද්ධතිය අපට අවශ්‍යයය අයුරින් සංස්කරණය කොට හන්තාන ලිනක්ස් ලෙස ස්ථායී මෙහෙයුම් පද්ධතියක් අප රට තුල ඇති බව ඔහු නොදන්නේය. තවත් ලෝපතල නිදහස් මෙහෙයුම් පද්ධතියක් වන Ubuntu හි අප රටෙහි සංස්කරණය කල LankaNet මෙහෙයුම් පද්ධතියක් ඇති බවද නොදනි. මේ කිහිපයකි එලෙසම තවත් නිදහස් මෙහෙයුම් පද්ධති සංස්කරණ කොපමණක් අප රට තුල සිදු වනවාද ඔහු නොදන්නේය. මීට අමතර නිදහස් මෙහෙයුම් පද්ධති වන Ubuntu, openSUSE වැනි ප්‍රසිද්ධ මෙහෙයුම් පද්ධති භාවිතා කිරීමට නැවත සංවර්ධනයක් කිසිසේත්ම අවශ්‍යයය නොවේ. එම මෙහෙයුම් පද්ධති සමග ලැබෙන නිදහස් මෘදුකාංග මගින් බොහෝ විට එදිනෙදා අවශ්‍යයය වන සෑම වැඩක්ම සිදුකර ගත හැක. සෑම වාණිජ මෘදුකාංගයක් සදහාම නිදහස් මෘදුකාංගයක් මේ වනවිට නිපදවා තිබේ. උදාහරණයක් ලෙස MS Office සදහා ආදේශකයක් වන LibreOffice හැදින්විය හැක.

  1. මෘදුකාංග නිෂ්පාදනය හා අපනයනය අතින් ස්ථාන ගතවනුයේ ලංකාවට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. ලොව පවතින ජනප්‍රිය මෘදුකාංග බොහොමයක නිර්මාණකරුවන් අතර ඉන්දීය ජාතිකයකුගේ නමක් දක්නට ලැබුණේ නැතිනම් ඒ ඉතා කලාතුරකිනි.  “

ලොව බොහොමයක් නිදහස් මෘදුකාංග ව්‍යාපෘති වල ශ්‍රී ලාංකිකයෙකුගේ නමක් සොයා ගැනීමටද අපහසු නැත. ඇත්තෙන්ම ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධ නොවන ජනප්‍රිය ව්‍යාපෘති නොවන තරම්ය. එය කුඩා රටක් ලෙස නිදහස් මෘදුකාංග ලොවේ අප සිටින ස්ථානය පෙන්වන දර්ශකයකි. ජනග්‍රහණය අනුව නිදහස් මෘදුකාංග සදහා ලබාදෙන සහාය අතින් අප ලෝකයේ දෙවැනිවන්නේ රටවල් අතලොස්සකටය. එය අපේ රටේ තොරතුරු තාක්ෂණය ඇති තැන කියාපාන දර්ශකයක් නොවන්නේද?

  1. අනෙක් අතට නොමිලේ ලැබෙන ඕපන් සෝස් මෘදුකාංගවලට රටක් වශයෙන් එකවර නැඹුරුවීම කළ නොහැක. තවත් පැත්තකින් ඒවා සංවර්ධනය නොකර ගෙඩි පිටින් ගෙන භාවිත කිරීමද ප්‍රායෝගික නැත. ඒවා සංවර්ධනය කිරීමට අපේ රටේ නිසි ක්‍රමවේදයක්ද නැත. අනෙක් අතට මේවාට නිසි අයිතිකරුවකු සහ වගකීමක් නොමැතිකම නිසා ඒවාට නැඹුරුවීමට මිනිසුන් තුළ පවතින රුචිකත්වයද ඒවා පිළිබඳ ඇති විශ්වාසයද අල්පය. ”

එකවර නැඹුරුවීම සදහා ඇති බාධාව කුමක්ද? අපි කිසිදු බාධාවක් නොදකිමු. නිදහස් මෘදුකාංග නිකුත් කරන්නේ පිලිගත් මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලියකින් අනතුරුවය. එනිසා නැවත සංවර්ධනයක් අනවශ්‍යයය. ඒවා ගෙඩි, මල් හෝ පොතුලෙස ගෙන භාවිතා කල හැක. තවද පෙර ප්‍රශ්නයම මෙහිදී මතුවේ, එනම් Microsoft සමාගමේ වෙනම මෙහෙයුම් පද්ධයතියක් ශ්‍රී ලංකාව සදහා නිකුත් කරනවාද, යන්නය.

නිදහස් මෘදුකාංග සංවර්ධනය සදහා රටතුල ක්‍රමවත් වැඩ පිලිවෙලක් තිබුනද, නොතිබුනද එම මෘදුකාංග නිකුත් කරන ව්‍යාපෘතිය හෝ ආයතනය ඒ පිලිබද ක්‍රමවත් වැඩ පිලිවෙලක් අනුගමනය කරනු ලබනවා. එනිසා අප රට තුල වැඩපිලිවෙලක් පැවතියද, නොපැවතියද එය එතරම ගැටලුවක් නොවේ.

තවද අපරට තුල සංවර්ධනය වූ ලෝපතල නිදහස් මෘදුකාංග ව්‍යාපෘති ගැන මෙම ලිපියේ කතෘතුමා අසා නැත්තේය. සහන ආපධා කලමණාකරන ව්‍යාපෘතිය ගැන කිසිවක් නොදනී. එය ඉන්දියාවේ නොව අපරට තුලවූ සාඩම්බර නිපැයමුකි. තවත් එවැනි ව්‍යාපෘති ඕනෑ තරම් ඇත, කරුනාකර ඒවා පිලිබද දැනුවත් වන ලෙස මෙම ලිපියෙහි කතෘතුමන් ගෙන් ඉල්ලා සිටීමට අපි කැමැත්තෙමු.

නිදහස් මෘදුකාංග ව්‍යාපෘති සදහා වාණිජ මෘදුකාංග වලට මෙන් අයිතිකරුවන් නැත, සිටියේ නම් එය නිදහස් මෘදුකාංගයක් නොවනු ඇත. ඒවා අවශ්‍යය ඕනෑම අයෙකුට භාවිතා කල හැක, වෙනස් කල හැක. නමුත් මේ සෑම නිදහස් මෘදුකාංග ව්‍යාපෘතියක්ම පාලනයට ආයතනයක් හෝ ප්‍රජාවක්වේ. මෘදුකාංග හොර පිටපත් භාවිතයේදී වගකීමක් ලබාගත හැකිද? වගකීමක් අවශ්‍යයම නම් වගකීමක් සහිතව ලබා ගැනීමද සිදුකල හැක. මෙහිදී යම් මුදලක් ගෙවිය යුතු වුවත් එය සාපේක්ෂව ඉතා අඩු මුදලකි. උදාහරණයක් ලෙස නිදහස් මෘදුකාංග මෙහෙයුම් පද්ධතියක් වන openSUSE භාවිතයට අකමැතිනම් නම් ඒ සදහා Novell සමාගම මගින් මුදල් ගෙවා වගකීමක් සහිතව මහෙයුම් පද්ධතියක් ලබාගත හැක, ගෙවිය යුතු මුදල ඉතාමත් සුලු අගයක් වේ.

මේ වන විට ලංකාව තුල නිදහස් මෘදුකාංග සදහා විශාල නැබුරුවක් හා උනන්දුවක් දක්නට ඇත. ලොව සුපතල වෙබ් බ්‍රව්සරක් වන FireFox (ඔබේ ලිපියට අනුව එය Adobe සමාගමේ පැකේජයක් සමග ලැබේ) අද වන විට ලොව වැඩිම දෙනෙකු භාවිතා කරන වෙබ් බ්‍රව්සරය බවට පත්වී ඇත්තේ පරිගනක භාවිතා කරන්නන් නිදහස් මෘදුකාංග පිලිබද අවිශ්වාසයකින් පසු වන නිසාද?

තවද නිදහස් මෘදුකාංග දිනෙන් දිනම කැපීපෙනෙන ලෙස දියුණුවෙමින් පවතී. වාණිජ මෘදුකාංග හා කරට කර ගැටෙන තත්වයක් මේ වන විට නිර්මාණය වෙමින් පවතී. එම තත්වය දැනට අව්රුදු හතරකට හෝ පහකට හෝ කලින් තිබු තත්වයට ඉදුරාම වෙනස්ය.

අප රට තුල නිදහස් මෘදුකාංග සදහා පාසැල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් සතු උනන්දුව සැබැවින්ම අගනේය. ඔවුන්ගෙන් මෙවැනි ව්‍යාපෘති සදහා ලැබෙන සහාය දිනෙන් දිනම වර්ධනයක් පෙන්නුම් කරනවා මිස අඩුවීමක් දක්නට නොලැබේ.

මෙම ගැටලුව සදහා ඉතාම නිවැරදි පිලිතුර වන්නේ නිදහස් මෘදුකාංග වෙන නැඹුරු වීමයි. එය මෙම ප්‍රශ්නයට ස්ථීර විසදුමක් වන අතර ඒ සදහා අවශ්‍යයය ඕනැම සයෝගයක් දීමට මෙරට නිදහස් මෘදුකාංග  හා සම්බන්ධ මෘදුකාංග ආයතන හා ප්‍රජාවන් ඕනෑම විටෙක සූදානම්ය. ඒ සදහා රජයේ සයෝගය ලැබීම මෙම ගමනට ලැබෙන තල්ලුවකි. මෙම ගැටලුව අනෙක් රටවල් සදහාද පොදු වූ අතර ඔවුන් නීතී වෙනස් කිරීමට වඩා ප්‍රමුඛතාව ලබාදෙනු ලැබුයේ නිදහස් මෘදුකාංග වෙත යොමු වීමටය. මෙම ලිපියේ සදහන් ඉන්දියාව ඊට කදිම නිදසුනකි.

මුලු ලිපිය පුරාවටම දක්නට ලැබෙන්නේ, කතෘතුමන් සතු මෙම විෂය කෙරෙහි ඇති නොදැනුවත්කමය. මෙම ලිපිය කියවීම මගින් පාඨකයන් තුල නිදහස් මෘදුකාංග පිලිබද වැරදිමතයක් ඇති විය හැකි බැවින් මෙම කරුණු ඉතාමත් ඉක්මනින් නිවැරදිවනු ඇතැයි අපි බලාපොරොත්තුවෙමු.  “Journalism Mastered By The Truth” යන ඔබ තේමා පාඨය සදහා නියම අර්ථයක් එක්කල හැක්කේ එවිට බව අපි විශ්වාස කරමු.  තවද මෙරට පිලිගත් පුවත්පතක් ලෙස, මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ සහිත ලිපි පල කිරීම පිලිබද අපගේ දැඩි විරෝධය පලකර සිටිමු.

තවද දැනුවත් කිරීමේ අරමුණ ඇතිව මෙම ලිපිය මේ සමගම ප්‍රසිද්ධියට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

Tagged: