මොනවද මේ CC ?? – Credit Card බිල්ලා මෙල්ල කරමු – 1

Posted on 2011 ජූනි 20

16


Credit Card එහෙමත් නැතිනම් ණයපත් ලංකාව පුරා ඉතාමත් ප්‍රචලිතයි. ඉස්සර වගේ නෙවේ අද සෑම තරමක මධ්‍යම ප්‍රමාණයේ වෙලද සැල්, සේවා සපයන්නන් වගේම ඉන්ධන සැල් පවා මේ ණය පත් භාරගනු ලබනවා. ඒ වගේම රස්සාවක් කරගෙන ඉන්න බොහොමයක් මේ ණයපත් එකක් හෝ කිහිපයක් භාවිතා කරනු ලබනවා. සමහරුන් මේ ණය පත් සදහා දක්වන්නේ බියක්, “අම්මෝ ක්‍රෙඩිට් කාඩ්, මතක් කරන්න එපා”, “ඔව්වා අරන් ණය වෙන්නේ මොකටද?”, “අපි නම් කාටවත් ණය වෙලා නෑ”, “අපෝ ඔව්වා මහ හිසරද” මේ වගේ අදෝනා ගොඩක් සමහරුන් ගෙන් අහන්න ලැබෙනවා.

මීට අවුරුදු 3 -4 කට කලින් මේ තරම් ක්‍රෙඩිට් කාඩ් භාවිතයක් අප රට තුල පැවතියේ නෑ. සෑම බැංකුවක්ම බොහෝ විට මෙම සේවාව ලබා දුන්නත් එය බොහෝ විට වැඩි පඩි ලබන කොටසට සීමා වුනා. කොහොම හරි පසුගිය අවුරුදු 2-3 ක පමණ සිට සෑම බැංකුවක්ම පාහේ තරගකාරීව මේ ක්‍රෙඩිට් කාඩ් නිකුත් කිරීම ආරම්භ කලා, ආර්ථික අවපාතය මේ සදහා හේතුවුනා. ඒ වගේම මෙමගින් විශාල ලාභයක් ලබා ගැනීමට හැකියි. මේ හේතු නිසා වාණිජ බැංකු බොහොමයක් මේ ක්‍රෙඩිට් කාඩ් සෙල්ලමට එක්වුනා, විශාල වැටුප් වලට සීමා වී තිබූ ක්‍රෙඩිට් කාඩ් මේ වනවිට සෑම තරාතිරමකම මිනිසුන් වෙත ලගාවිය හැකි ලෙස පවතිනවා.

ඉතින් මේ ලිපි පෙලින් කියන්න හදන්නේ අර්ථාන්විතව ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන්නේ කෙසේද ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධ දේවල් හා ඒවා පරිහරණයේදී සැලකිලිමත් විය යුතු කරනු මේ ලිපි පෙල මගින් ඕගොල්ලෝ හමුවට ගේන්න අදහස් කරනවා. මතක ඇති බූඩිගේ උපෙ. හමාරයි සීරිස් එක. ඔන්න ඕකේ තව ටික කාලෙකින් කියවන්න හම්බෙයි බූඩි ක්‍රෙඩිට් කාඩ් බිස්නස් කරපු හැටි නම ගිය බැංකුවක. ඉතින් මේ බැංකුවේදී ලබපු ක්‍රෙඩිට් කාඩ් කුප්පි ටික පෙරලා තව ඒවා කලවම් කරලා ඕගෝල්ලන්ට උණු උණු ලිපි පෙල ක් දන්න තමා හිතන් ඉන්නේ. Credit Card බිල්ලා මෙල්ල කරමු – 1 මේ ලිපි පෙලේ ආරම්භයයි.

දැන් ඉතින් ඇන්ටි ක්‍රෙඩිට් කාඩ් කස්ටිය මට බනින්න එපා, මේක කියවගෙන ගිහිල්ලා බලන්න ඔයාලා ක්‍රෙඩිට් කාඩ් ගැන හිතාගෙන හිටිය විදිහ හරිද නැද්ද කියලා. ඕනම දේක හොද වගේම නරකත් හියෙනවා. පිහියෙන් කපද්දි අපිට ඕන දේ වගේම අපේ අතත් කැපෙනවා නේ, ඒත් පරිස්සමින් පිහිය පාවිච්චි කරනවා මිසක් අපෝ පිහිය කියලා ඒක පාවිච්චි නොකර ඉන්නේ නෑ නේ. ඉතින් ඒ වගේම් තමා ක්‍රෙඩිට් කාඩ් දැන් ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග.

පණ්ඩිත කතා අඩු කරලා වැඩේට බහිමු.

මොනාද මේ ක්‍රෙඩිට් කාඩ් කියන්නේ. බැංකුවෙන් දෙන ප්ලාස්ටික් කාඩ් එකද? ඔව් මේක ප්ලාස්ටික් කාඩ් එකක් නම් තමා හැබැයි බැංකුවෙන් දෙන හැම කාඩ් එකක්ම ක්‍රෙඩිට් කාඩ් නෙමේ. නමේ තේරුමෙන්ම ගත්තොත් මේක ණයට දෙන කාඩ් එකක්. ඒ කියන්නේ මේ කාඩ් එකෙන් ඔයාට ණයට බඩු ගන්න පුලුවන් හැබැයි ඒකට අපි බඩු ගන්න කඩේත් ඒ පහසු කම තියෙන්න ඕනේ. බස් එකේ නම් තාම යන්න බෑ තාම ඒත් සමහර ටැක්සි/ කැබ් වලනම් මේ සේවාව තියෙනවා. අනිත් ප්‍රචලිත කාඩ් වර්ගය තමා ඩෙබිට් කාඩ්, මේ වලින් කරන්නේ ඔබේ ගිනූමේ තියෙන සල්ලි වලින් බඩු ගන්න පුලුවන් පහසු කම ලබාදීමයි. මේ මුදල ණයක් ලෙස නෙමේ ලැබෙන්නේ. අපේ සල්ලි වලින් අපි බඩු ගන්නවා වගේ.

ඉතින් මොකක්ද මේකේ තියෙන වාසිය, ණයක් විදිහට හම්බෙන්නේ නැතිනම් වැඩක් නෑනේ, ඒත් මෙන්න මේකයි වාසිය. අපි අතේ සල්ලි අරන් යන එක භයානකයි නේ. පොකට් එකට වැඩේ දුන්නොත් ඉවරයි. ඉතින් ෂොපින් යද්දි සල්ලි නැතිව මේ ඩෙබිට් කාඩ් එක අරන් ගියාම සල්ලි ගැන බය වෙන්න දෙයක් නෑ. අනික හද්ස්සියකදි ඉතාමත් වටිනවා.

මේ ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ් හදුන්වන්න භාවිතා කරන්නේ Visa හා MasterCard කියන නම් නේ, මේ මොනාද කියලා ඊලග ලිපියෙන් බලමු. එතකන් රැදී ඉන්න. . . .