ක්‍රෙඩිට් කාඩ් වැඩ කරන හැටි – Credit Card බිල්ලා මෙල්ල කරමු – 3

Posted on 2011 සැප්තැම්බර් 30

11


ඔන්න ගිය පාර පෝස්ට් එක වෙන්වුනේ ඩෙබිට් කාඩ් වලට නේ, මේ පෝස්ට් එකෙන් බලමු කොහොමද මේ ක්‍රෙඩිට් කාඩ් වැඩ කරන්නේ කියලා හා මොනවද මේ Visa, MasterCard කියන්නේ කියලා, හැමෝම දන්නවනේ මේ ක්‍රෙඩිට් කාඩ් හා සම්බන්ධ වචන දෙකක් කියලා, සාප්පු වල වගේම බැංකුවලත් ගහල තියෙන නිසා මේ ගැන හැමෝම දන්නවා අහලා තියෙනවා. ඒත් මොනවද මේ? ක්‍රෙඩිට් කාඩ් එකේ වර්ගයද? නැතිනම් ක්‍රෙඩිට් කාඩ් ලබාදෙන සමාගම්ද?

මේකට උත්තර දෙන්න ඉස්සෙල්ලා මුලින්ම බලමු කොහොමද ක්‍රෙඩිට් කාඩ් එකක් ක්‍රියාත්මක වෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන් ගත්තොත් බැංකුව, සාප්පුව හා අපි. ඉතින් ඔන්න ඔය ටිකනේ පිටට පේන්න තියෙන දේවල්. ඉතින් ඔය තුන් ගොල්ලො එකතු වෙලා තමා මේ වැඩේ කරගෙන යන්නේ. හරි කියමු මෙන්න මෙහෙම.

ක්‍රෙඩිට් කාඩ්පත් හිමියා(Card Holder) – මෙනමින් හදුන්වන්නේ ක්‍රෙඩිට් කාඩ්පත අයිති නැතිනම් එහි හිමිකරු.

ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කල බැංකුව (Issuer) – මෙනමින් හදුන්වන්නේ ක්‍රෙඩිට් කාඩ්පත නිකුත් කල බැංකුව, හැමෝම දන්නවා නේ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් අපි ලබාගෙන්නේ ණයක්, ඉතින් මේ ණය දෙන්නේ මේ බැංකුව විසින්.

වෙලෙදසැල් හිමියා(Merchant) – මෙයා තමා කඩේ අයිතිකාරයා, තනි පුද්ගලයෙක් වගේම සමාගමක් වෙන්නත් පුලුවන්. ක්‍රෙඩිට් කාඩ්පත දුන්නම ණයට බඩු දෙන්නේ මේ වෙලෙද සැල්හිමියා තමා.

Acquirer – වෙලදසැල් හිමියා වෙත සේවය සපයන ආතනය මෙනමින් හදුන්වයි. වෙලදසැල වෙනුවෙන් ගෙවීම් ලබාගන්නේ මෙම ආයතනයයි. බොහෝ වෙලාවට මෙයද තවත් බැංකුවකි. මූල්‍ය ආය්තනක් වීමටද පුලුවන්. Visa, MasterCard, American Express, Diners Club, JBC මෙලෙස මෙම සේවාව සපයන ලොව පුරා ව්‍යාප්ත වූ Acquirer ලෙස හදුන්වන්න පුලුවන්.

ඔන්න දැන්වැඩේ හරි අපි බැංකුව මගින් ලබාගන්න ක්‍රෙඩිට් කාඩ්පත, වෙලදසැල් හිමියාට ලබා දෙනවා, ඊට පස්සේ අපිට ණයට බඩු හම්බවෙනවා, බැංකුව අපේ බඩු මිල ගෙවලා වෙලද සැල් හිමියාට ගෙවලා ඒක ණයක් විදිහට අපේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමට බැර කරනවා. ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ. ඉතින් එතකොට මොනාද මේ Visa, MasterCard කියන්නේ. අපේ ක්‍රියාවලියේ හිටියේ තුන්දෙනයි ඒත් දැන් පේන විදිහට හතර දෙනෙක් ඉන්නවා. කව්ද මේ. ඉහත විස්තරේ අනුව ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ ලෝකයේ වෙලද සැල් හිමියන් ඉන්න ගානයි, බැංකු තියෙන ගානයි බැලුවම, බැංකු වලට මේ වැඩේ තනියම කරගන්න බෑ කියලා. ඉතින් ඒක නිසා මේ සියලු ක්‍රියාවලිය මධ්‍යගත කරන්න ආයතනයක් තියෙනවා. අන්න ඒවා තමා ක්‍රෙඩිට් කාඩ් සැකසුම් ආයතන ලෙස ක්‍රියාකරන්නේ. Visa, MasterCard කියන්නේ ඒ වගේ ජනප්‍රිය ආයතන දෙකක්.

දැන් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා.

ඔන්න ඔයා දැන් ක්‍රෙඩිට් කාඩ්පතක් ගන්න A බැංකුව ගියා, ගිහිල්ලා ලියකියවිලි පුරෝලා දුන්නා, බැංකුවත් ඔයාගේ පඩිය ගැන හිතලා ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්න කැමතියි. ඉතින් බැංකුව කරන්නේ ඔයාට නිශ්චිත ණය සීමාවක් සහිතව ක්‍රෙඩිට් කාඩ්පතක් නිකුත් කරන එක. මේ බැංකුව Visa ආයතනය එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් Visa කාඩ් නිකුත් කරන්න මේ බැංකුවට පුලුවන්. ඉතින් ඔයාට Visa කාඩ් නම්බර් එකක් ලැබෙනවා අංක 16ක් තියෙන.

මීලගට ඔයා මේ ක්‍රෙඩිට් කාඩ් එකත් අරගෙන යනවා කඩේ. කඩේ මුදලාලි ලග තියෙනවා පොඩි ගැජට් එකක්, ඕකට කියන්නේ EFTPOS (Electronic Funds Transfer at Point of Sale). ඕක දුන්නේ B බැංකුවෙන්. ඒ ගොල්ලොත් Visa ආතතනය එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ, ඉතින් බැංකුව මේ කඩේට දීලා තියෙනවා පොඩි ගැජට් එකට කාඩ් එක දාලා අදාල මුදල ලබා දුන්නම අදාල බැංකුව හරහා Visa ආයතනය හා සම්බන්ධ වෙන්න පුලුවන්, ඊට පස්සේ Visa ආයතනය A බැංකුව එක්ක සම්බන්ධ වෙලා බලනවා ඔබේ ක්‍රෙඩිට් කාඩ්පතේ ණය සීමාව ඉක්මවෙලා ද නැද්ද කියලා. ඉතින් ඉක්මවලා නැතිනම් මේ ගණුදෙනුව තහවුරුකරනවා. ඉතින් A බැංකුව මේ ගණුදෙනුව තහවුරුකලා කියලා Visa ආයතනය B බැංකුවට දන්වනවා. ඉතින් B බැංකුව සාප්පුවට දන්වනවා මේ ක්‍රෙඩිට් කාඩ්පත හිමියාට ණයට බඩු දෙන්න කියලා. මේ පියවර හදුන්වන්නේ “Authorization” කියලා.  ඔන්න එතකොට තමා අර ගැජට් එකෙන් බිල ප්‍රින්ට් වෙලා එන්නේ. ඒකට තමා අත්සන යොදලා අපි බඩු අරන් එන්නේ.

ඉතින් දැන් තේරෙන්වා ඇති Visa MasterCard ආයතන වලින් කරන්නේ මොකක්ද කියලා. මේ සියලු පාර්ශව අතර සන්නිවේදනය ඇති කරන්නේ මේ ආයතනයි. මෙම සන්නිවේදන මාධ්‍යය (නෙට්වර්ක් එක) අයිති වන්නේ ඔවුන්ටයි, ඇත්තෙන්ම Visa ආයතනය සතු ජාලය Plusලෙසද MasterCard සතු ජාලය Cirrus ද වෙනවා. ඉතින් මේ ජාලය භාවිතයට ඔවුන් යම් මුදලක් අය කරනවා. ඊට අමතරව  Acquirer ආයතනයක් ලෙසද මෙම Visa හා MasterCard ආයතන තම සේවය සපයනවා. ලංකාවේනම් බොහෝ විට Visa MasterCard යන දෙකම එක සේ භාවිතාවනවා වගේම මේ වර්ග දෙකම සෑම සාප්පුවකින්ම වගේ භාරගන්නවා. තව මෙලෙස භාවිතාවන ආයතන අතර American Express, Diners Club හා JCB ප්‍රමුඛ වෙනවා.