දෙමව්පියන් මහලු නිවසට යවමුද?. . .

Posted on 2011 දෙසැම්බර් 2

6


කාලෙකින් පෝස්ට් එකක් දාන්න පුලුවන් කමක් ලැබුනා හා හා පුරා කියලා. නත්තලත් ලග එනවා උනත් වැඩ වල නම් ඉවරයක් නෑ, මොනවා උනත් අද ලියන්න යන්නේ ටිකක් බැරෑරැම් දෙයක් ගැන. හෙඩ් ලයින් එක දැක්ක ගමන්ම දෙන්නවා නේ එන්න යන්නේ මොකාටද කියලා, ඒත් කලබල නැතිව දිගටම කියවන්න.

ඒ වගේම මේ බූඩිගේ සිතුවිල්ල නිසා, බූඩිව කලගුණ නොදන්න අමනයෙක් කියලා හණ්වඩු ගහන්න නම් එපා මේක කියෝලා, ඒත් බූඩි දකින සමාජයේ තවත් තිත්ත පැතිකඩක් මේක.

ලාංකික සමාජ රටාව අනුව ගෙදරක කීදෙනෙක් ඉන්නවද? ආච්චිලා සීයලා, මුනුපුරෝ, මිනිපිරියන් මහ ගොඩයි. හැබැයි ටික කාලෙක ඉදලා වයස්ගත පිරිස වැඩි වෙන්න පටන්ගත්තා ඒ වගේම ලාංකික සමාජ රටාවත් වෙනස් වුනා. කාර්යය බහුල ජීවිත වල හිර වෙන්න හැමෝටම සිද්ධ වුනා ඒ ජීවිතේ කොහොම හරි ගැට ගහගන්න ඕන නිසා. මේ නිසා ජීවිත ගොඩාක් සංකීර්ණ වුනා, විශේෂයෙන්ම මධ්‍යයම පාන්තිකයන් අතර.

දෙමාපියන් කියන්නේ අපේ ජීවිතේ වටිනාම කොටසක් හැබැයි ඒ කෙල්ලෙක් හෝ කොල්ලෙක් කසාද බදිනකම් විතරයි. (මේ කතාව හැමෝටම අදාල නෑ, ඒත් මෙහෙම දේවල් සමාජයේ නැතුවා නොවේ) ඊට පස්සේ ලමයි එකා දෙන්නා හම්බුනාම මෙලෝ එස්පාසුවක් නෑ. ලමයි හදන්නයි, හම්බකරන්නයි ගියාම වෙන දෙයක් දිහා බලන්න වෙලාවක් නෑ. ටික කාලයක් යද්දි මේ දෙමාපියෝ මේ ලමයින්ට කරදරයක් වෙනවා. විශේෂයෙන්ම තත්වය බරපතල වෙන්නේ ඔවුන් ඔත්පල උනාම හරි, ඔවුන් යැපෙන්නන් බවට පත් උනාම (ෆෙන්ෂන් එකක්වත් නැතිනම්). ඔන්න ඔය තලයට එන කොට කොච්චර ආදරයෙන් දෙමාපියන් ගැන හිතාගෙන හිටපු ලමයින්ටත් මේ ගොල්ලෝ කරදරයක් වෙනවා.

මේ සිද්ධිය දිහා බලන කෙනෙකුට තේරෙයි මේක මහ අසික්කිත වැඩක් කියලා ඒත මේ ගැන සංවේදීව හිතුවොත් . . .

හිතන්න පවුලේ සැමිය බිරිද දෙන්නම රැකියාව කරනවා, ඒ වගේ වෙලාවට මව්පියන්ගේ ආවතේව කරන්න ඒගොල්ලන්ට වෙලාවක් නෑ. ඉතින් විශේෂ අවධානයක් ඔවුන් වෙත යොමු වෙන්නේ නෑ. ඒ වගේම ඔවුන් වෙත මාසික යැපීම් ක්‍රමයක් (ෆෙන්ෂන්) නැතිනම් සියලු විය හියදම් දරන්න වෙන්නෙත් අර දෙන්නටමයි. බෙහෙත් වලට යන වියදම සුලු පටු නෑ. ඒ වගේම ලෙඩක් දුකක් (වයසක අයට නිතරම හැදෙන) හැදුනම විශේෂ සැලකීම ලමයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මොක්ද ඒ ගොල්ලොත් ජීවත් වෙන්න ලොකු සටනක් කරගෙන යන නිසා.

ඔන්න ඔය තත්ව නිසා ගොඩාක් වෙලාවට ඇතිවෙන ප්‍රශ්න නිසා පිඩා විදින බොහොමයක් දෙනා අද සමාජයේ විරල නෑ.

මේකට විසදුම මොකක්ද?

දෙමාපියන් ලමයින්ව හදන්න නොගන්න වෙහෙසක් නෑ. ධනය කාලය මේ ඔක්කොම වැය කරන්නෙ තමන්ගේ ලමයට. ඒත් නැවත ඔහුගෙන් එය බලාපොරොත්තු වීම සාධාරණ නොවන බවයි බූඩිගේ හැගීම.  ලාංකික සමාජ ක්‍රමය අනුව මේක තරමක් රැඩිකල් කියමනක්, ඒත් ඇත්ත මොකක්ද කියලා තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යයයි.

අවු. 55 න් හෝ 60න් පස්සේ ජීවත් වෙන්න හැටි ගැන හොද සැලසුමක් සෑම නූනත දෙමාපියෙක්ටම තියෙන්න ඕනේ අන්න ඒ නිසයි. ලමයි මත්තෙම බලාපොරොත්තු තියා ගන්න එක සාධාරණ දෙයක් නෙමේ, බූඩි දකින හැටියට. ඒක නිසා මේ සියල්ල හොදින් අවබෝධ කරගෙන හොද මානසික තත්වයකින් මෙයට මුහුණ දීම සෑම දෙමාපියෙකුගේම යුතුකමක්. දරුවන් සලකනවානම් එය බුක්ති විදිය යුතු උවත් එය ඔවුන්ගෙන් බලාපොරොත්තු වීම සාධාරණ නැහැ. ඒක නිසා මුලු සේසතම ලමයින්ට වියදම් කරන්නේ නැතිව අවසාන කාලය ගෙවාගන්න හොද ක්‍රමයක් සලස ගන්න එක දෙම්පියෝ වෙන්න ඉන්න හා වෙලා ඉන්න හැමෝගෙම යුතුකමක්. නැතිව හැමදේම ලමයට වියදම් කරලා අන්තිමේදී හිත් අමනාප කම් ඇතිකරගන්න එකනම් නුවණක්කාරදෙයක් නෙමේ. ලමයෙක් කියන්නේ තමන්ගේම කොටසක් හැබැයි ඔහු හෝ ඇය පවුලක් ගොඩ නැගුවාම මව්පියන් හා ඔහු, ඇය අතර සම්බන්ධය වෙනස් විය යුතුයි. එය බුද්ධිමත්ව වටහා ගෙන එයට මුහුණ දීමට ශක්තියක් හා මනසක් මව්පියන් හට තිබිය යුතු වෙනවා.

දෙමාපියන් පැත්තෙන් එසේ වුවත් දරුවන්ගේ පැත්තෙන් තිබෙන වගකීමක් තමා දෙමාපියන් හොදින් බලාගන්න එක, ඒක හැකි තරම් ඉටු කරන්න උත්සහා කිරීම කල යුත්තක්. නවීන සමාජය ඉතා කාර්යය බහුල, සමාජ වටිනාකම් වෙන්දේසි වෙන තැනක්, ඒත් හැකිතරම් අපේ කම රැකගැනීම ඉතාමත් වැදගත්. නමුත් සියල්ල දෙස විචක්ෂණශීලීව බලන කෙනෙකුට මේ සියල්ල හොදින් හසුරුවන්න පුලුවන්.

මේ ලිපියේ තියෙන්නේ මේ ප්‍රශ්නය ගැන බූඩි දකින එක පැතිකඩක්. බූඩි ගැන වරදවා වටහා ගන්න එපා වගේම මට පුද්ගලිකව මේක අදාල නැතිබවත් කියන්න ඕනේ. කලබලෙන් මේක ලිව්වේ මේ කතාව පස්සේ තවත් කතා ගොඩක් තියෙන නිසා, ඒ කතා ටික හෙමීට කියන්නම්. එතකම් ගිහින් එන්නම් .

පලි: කාලයක් ලියන්නේ නැතිව ඉදලා ලියන්න ගියාම ලිවවෙන්නේ එකක් හිතේ තියෙන්නේ එකක්, බොහොම අමාරුවෙන් තමා අමුණ ගත්තේ. ඒක සමා වෙන්න ඕනේ. පරණ ස්ටයිල් එකට තව පෝස්ට් 2 කින් 3 කින් එන්න පුලුවන් වෙයි කියලා හිතනවා.