යානය කුඩු වුනත් නියමුවා බේරෙන හැටි – ගුවන අරා 3

Posted on 2012 පෙබරවාරි 21

10


කාලෙකින් පෝස්ට් එකක් දාන්න තමා බූඩි යන්නේ. මේ ටිකේ ලියනවාට වඩා කලේ අනිත් අයගෙ එව්වා කියෝන එක. මාස 6 කට විතර පස්සේ මේ ටිකේ තමා බූඩි නිතර යන එන ඒවා ඇරෙන්න, අනිත් බ්ලොග් වලට ටිකක් ගොඩ වැදුනේ.  හොදට ලියන අය ගොඩාරියක් ගේ බ්ලොග් කියවන්න හම්බුනා. හරිම සතුටුයි බූඩිට.

ගුවන අරා ලිපි  ගැන කීප දෙනෙක්ම ඇහුවා ආයේ ලියන්නේ නැද්ද කියලා, මේ ටිකේ වෙලාවක් තිබුනේ නැති නිසා මග ඇරුනත් මේ හදන්නේ ගුවන අරා එකේ ඊලග පෝස්ට් එක දාන්නයි.

කාටත් මතක ඇති මේ ලගදි ප්‍රහාරක මිග් එකක් කඩාගෙන වැටුනා. ඒත් ඒකේ නියමුවා නම් බේරුනා ඉතින් කොහොමද මේ යානය කඩන් වැටුනත් නියමුවා බේරෙන්නේ කියන කතාව තමා අද කියන්න යන්නේ.

නවීන ඉවත්වීමේ අසුනේ සංකල්පය මුලින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ Anastase Dragomir නම් තැනැත්තා 1920 දී පමණ. Ejection Seat ලෙස හදුන්වන මෙම තාක්ෂනය 1900 ගණන් වල මුල් කාලයේ පටන්ම විවිධ පර්යේෂණ වලට ලක් උනත්, දෙවන ලෝක යුද්ධය කාලේ තමා හුගාක්ම වැඩි දියුනු උනේ. නවීන ප්‍රහාරක යානා ශබ්ධයේ වේගයටත් වඩා වැඩි වේග වලින් ගමන් කරන්නේ. ඉතින් මෙවැනි යානයක් අනතුරකට ලක් උනොත් එයින් බේරෙන්න මෙම අසුන නිසා හැකියාව ලැබෙනවා.

ගුවන් යානය විනාශවෙන්න කලින් මේ අසුන ගුවන් යානයෙන් පිටතට විසි වෙනවා නියමුවා සමග ඉන්පසු පැරෂුටයක් දිග හැරී නියමුවා නිරුපද්‍රිතව පොලොවට ලගා වෙනවා. අධික වේගයෙන් යන ගුවන් යානයකින් නියමුවා එලියට පනින එක ඉතාමත් අනතුරුදායකයි. ඇතිවන ක්ෂණික ත්වරණය (10g සිට 20g පමණ) නිසා නියමුවාගේ ජීවිතයට පවා හානි වෙන්න පුලුවන්, එනිසා මෙම අසුන යාන්ත්‍රිකව විසීවීම ඉතාමත් වැදගත්.

ඒ වගේම ඕගොල්ලේ දන්නවානේ නියමුවා වසාගෙන තියෙන ආවරණයක් තියෙනවා ගුවන් නියමු කුටියට උඩින්. නියමුවා වසාගෙන තියෙන විනිවිද පේන ආවරණය මේක හදුන්වන්නේ Canopy කියලා. ඉතින් නියමුවා ඉවත් වෙන්න ඉස්සෙල්ලා මේ ආවරණයත් ඉවත් වෙනවා නැතිනම් එයින් නියමුවාට හානියක් වෙන්න පුලුවන් හින්දා. එහි සවිකරලා තියෙන සියුම් පුපුරන ද්‍රව්‍යයයක් මගින් එය පුපුරා හැරීමත් සමග නියමු අසුන එලියට විසිවෙනවා. ඉතින් බලන්න කෙතරම් සියුම් ක්‍රියා ගනනාවක් නියමුවා අසුන ඉවත්වීම ක්‍රියාත්මක කලවිට වෙනවාද කියලා. මේ එකක් හෝ හරියාකාරව සිදු වුනේ නැතිනම් නියමුවාගේ ජීවිතේ අනතුරේ.

මෙම අසුන ඉතා වේගයෙන් ඉවතට විසිවෙන්නේ එහි සවිකොට ඇති රොකට්ටුවක් ආධාරයෙන්. සම්පීඩනය කරන ලද වාතට ආදී විවිධ ක්‍රම පැවතියත් මේ වන විට භාවිතා වන්නේ රොකට්ටු මත පදනම් වන ක්‍රමයයි. මෙය සක්‍රීය කිරීම විවිධ ක්‍රම භාවිතා කරනවා. අසුන මැද, පැත්තෙන්, ඉහල වූ ලීවරයක් ඇදීම මගින් මෙය ක්‍රියාකාරී වෙනවා. ඉන්පසු අසුන හා සම්බන්ධ රොකට්ටුව ක්‍රියාත්මක වි නියමු අසුන එලියට විසි වනවා. එහිදී නියමුවාගේ පාද මෙම අසුනට හිර කර ගන්නවා නැතිනම් නියමුවාගේ කකුල් තුවාල වෙන්න පුලුවන් නිසා. ඇත්තටම මෙම කුඩා රොකට්ටුව මගින් නියමුවා තවත් අඩි 150 ක් පමණ උසකට එසවීම සිදු වෙනවා. ඉන්පසු කුඩා පැරෂුටයක් දිග හැරී නියමුවාගේ වේගය අඩු කරන අතර අසුන සමබර කිරීමට උත්සහා කරනවා. නියමිත උසට ලගා වූ විට ප්‍රධාන පැරෂූටය දිග හැරීමත් සමග නියමුවා හා අසුන වෙන්වනවා. මෙතක් වෙලා නියමුවා නිරුපද්‍රිතව බේරා ගත් අසුන බිම පතිත වී විනාශ වෙලා යනවා. අවසානයේ අසුනින් වෙන්වූ නියමුවා සාමාන්‍යයය ආකාරයට පොලොව වෙත ලගා වෙනවා.

මෙලෙස ඉවත් වීමේ අසුන් ඇත්තේ අධිවේගී ප්‍රහාරක යානා වල විතරයි. බූඩි මුලදි සදහන් කරපු වාණිජ ගුවන් යානා සදහා මෙය අදලා වෙන්නේ නෑ. එලෙසම පූර්ණ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන ආසන මේ වෙන්කොට හදුන්වා දීලා තියෙනවා. නියමුවා විසින් සක්‍රීය කිරීමක් අවශ්‍යයය නැහැ. උදාහරණයක් විදිහට හදිසියේවත් නියමුවාට සිහි නැති උනොත් පවා මෙම ස්වයන්ක්‍රීය පණ ගැන්වීම නිසා ඔහුගේ දිවි බේරෙනවා.

1946 ඉදලා මේ අසුන් නිපදවන ප්‍රමුඛ සමාගමක් වන්නේ Martin-Baker සමාගමයි. ඔවුන්ගේ වෙබ් අඩවිය. තවත් ආයතනයක් තමා Goodrich සමාගම.

ඇත්තෙන්ම නිකම්ම නිකම් අසුනක් වගේ පෙනුනට මෙය ඉතාමත් වැදගත්ම කොටසක්. නියමුවාගේ ජීවිතය රදාපවතින්නේ මෙය මතයි.

ප්‍රහාරක යානා සම්බන්ධ තාක්ෂණ ගැන බූඩිට තියෙන්නේ ස්වල්ප දැනුමක්. කාලීන වැදගත් කම නිසා තමා මේ ගැන ලිව්වේ. ඊලග පෝස්ට් එකේ ඉදලා නැවතක් වානිජ ගුවන් යානා හා සම්බන්ධ තාක්ෂණ ගැන කතා කරමු.

මේ අල්ප විස්තර බූඩි සදහන් කලාට තව කියන්න ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. තවත් දැන ගන්න ආස අයට Google සෙවුමක් මගින් ගොඩාක් දේ දැන ගන්න පුලුවන් වෙයි. තවත් ගුවන අරා ලිපියකින් හමුවෙන්න හිතන් බූඩිත් ඉජෙක්ට් වුනා ඔන්න.

Advertisements