තිරසාර සංවර්ධනය බුද්ධියේ විමසුමට

Posted on 2012 මාර්තු 3

2


යම් භාණ්ඩයක් හෝ සේවාක් සැපයීම සදහා අවශ්‍යයය වන්නේ සම්පත්ය (Resources). සම්පත් සීමිතය. එමෙන්ම විවිධාකාරව බෙදී ගොස් ඇත. සමහර රටවල්, සමහර සම්පත් අතින් පොහොසත්ය. එම විශමතාවය නිසා සීමිතවූ සම්පත් වලට තවත් වැඩි වටිනාකමක් එකතු වී තිබේ. උදාහරණයක් ලෙස මැද පෙරදිග රටවලට තෙල් සම්පත බහුලව සීමාවී තිබීමත්, දියමන්ති නිධි අප්‍රිකාණු මහද්වීපය තුල සුලභ වීමත් සලකා බැලිය හැක. ඛණිජ හෝ ස්වාභාවික සම්පත්ම පමණක් නොව අනෙකුත් සාධක පවා විශමව බෙදී ගොස් ඇති ආකාරයක් නිරීක්ෂණය කල හැක.

නිෂ්පාදනයේ සාධක ලෙස හැදින්වෙන ප්‍රාග්ධනය, ශ්‍රමය, භූමිය හා ව්‍යවසායකත්වය ලෝකය පුරා විහිදී ඇත්තේ විෂමවය. මෙම හේතුව නිසා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයද නිසැකවම විෂමව බෙදී ගොස් තිබිය යුතුමය. අවස්ථාමය පිරිවැය (Opportunity Cost) ලෙස ආර්ථික විද්‍යාව තුල හදුනාගන්නා මෙම සංකල්පය නිසා සෑම රටකම නිෂ්පාදන මෙම සාධක මත සීමාකරණය වීම හේතුවෙන් අන්තර්ජාතික වෙලදාම සෑම රටකටම ඉවත දැමිය නොහැකි විකල්පයක් බවට පත්විය. යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනයට සම්පත් ඇති රටක් ඒ සදහා යොමුවීම හා සම්පත් දුලභ භාණ්ඩ හා සේවා රට තුල නිෂ්පාදනය නොකර රට තුලට ආනනයනය කිරීමට රටවල් නැඹුරු වූයේ මෙම හේතුව පදනම් කොටගෙනය. ඉරානය නිපදවන ඛණිජ තෙල් ලංකාව විසින් ආනයනය කරන්නේද, ලංකාව විසින් තේ අපනයනය කරන්නේද මෙම හේතුව නිසාය.

මීට සියවස් එකකට හෝ දෙකකට පෙර නොවී විරු ලෙස විශාල ඉල්ලුමක් අද වන විට වර්ධනය වීම නිසා විවිධ සම්පත් හිගයක් වර්ධනය වෙමින් පවතින බව සදහන් කල යුතුය. වැඩි වන ලෝක ජනගහනය නිසා භාණ්ඩ හා සේවා සදහා ශීග්‍රයෙන් ඉහල යන ඉල්ලුම මේ සදහා ඉවහල් වී ඇත. තාක්ෂණයේ දියුණුව සමග මෙම සම්පත් ඌන තත්වය යම් පමණකට පාලනය කිරීමට හැකි වූ අතර දිනෙන් දින ක්ෂය වී යන සම්පත් ප්‍රමාණය හේතුවෙන් විධිමත් සම්පත් කලමණාකරණයන් පිලිබද සියලු පාර්ශව සිටින්නේ විමසිල්ලෙනි.

හැකි තරමින් සම්පත් නැවත නැවත භාවිතා කිරිම, ඉතා දියුණු තාක්ෂණික ක්‍රම භාවිතයෙන් විධිමත් හා කාර්යයක්ෂම නිෂ්පාදන සදහා යොමුවීම, භාවිතා කිරිමේදී සැලකිලිමත් වීම, නාස්තිය අවම කිරීම වැනි දහසකුත් ක්‍රම මගින් සම්පත් විධිමත්ව භාවිතා කිරීම මගින් සුලු හෝ සහනයක් ලබා ගත හැකි නිසා විවිධ පාර්ශව මේ පිලිබද පලකරන්නේ දැඩි අවධානයකි.

තවත් එක් වැදගත්, ඉතාමත් වැදගත් පාර්ශවයක් වන්නේ, පරිසරයයි. සීග්‍ර කාර්මික දියුණුව නිසා පරිසරය වෙත එල්ල වූ තර්ජන හේතුවෙන් විවිධ  පාරිසරික බලපෑම් එල්ල විය.  පෙර නොවූ උනන්දුවක් හා අවධානයක් අවට පරිසරය වෙත යොමු කරමින් එය රැක ගැනීමට විවිධ නීති රෙගුලාසි ගෙන එමින් එහි ආරක්ෂාව තහවුරු කිරීමට රාජ්‍යයයන් වෙහෙසෙන්නේ මෙබැවිනි.

දියුණු රටවල් හා නොදියුණු රටවල් ආදී ලෙස වර්ග කිරීමක් පවතී. ධනවත් භාවය මත දියුණු හෝ නොධියුණු ලෙස ප්‍රධාන වශයෙන් තවත් සාධාක කිහිපයක් මත වර්ග වෙන මෙම රටවල් හි දියුණුව අභියෝගයට ලක්වෙමින් පවතින්නේ එම දියුණුවේ පැවැත්ම පිලිබද ගැටලු රාශියක් පැණනැගීම හේතුවෙනි.

සරලව දියුණුව පිලිබද කතා කලද, අද වන විට වඩාත් ප්‍රභල මාතෘකාවක් වී ඇත්තේ තිරසාර සංවර්ධනය (Sustainable Development) කෙරෙහියි. සමාජීය, ආර්ථික හා පාරිසරික සාධක මත ඇගයීමට ලක්වන තිරසාර සංවර්ධනය පිලිබද සාකච්චා කිරීමට මෙම ලිපි පෙල අද සිට වෙන් වන්නේ එබැවිනි.

සෑම නිෂ්පාදනයක්ම සේවාවක්ම තිරසාර සංවර්ධනයක් කරා මෙහෙයවිය හැකි ආකාරයත්, තිරසාර සාධක මත එම නිෂ්පාදන් ඇගයීමත් හේතුවෙන් ඉතා ඉහල සම්පත් කලමණාකරනයක් ඇති වීම මෙහි ප්‍රතිපලයකි. සරලම හා හුරුපුරුදු උදාහරණය වන්නේ ගොවිතැනයි. ගොවිතැන මගින් සංවර්ධනය කරා යොමු විය හැක. වැඩි අස්වැන්නක් ලබා ගැනීම එහි සංවර්ධනයක් ලෙස අර්ථකතනය කල ද එහි තිරසාර භාවය පිලිබද අවධානය යොමු කිරීම කාලින අවශ්‍යයයතාවක් වී ඇත. මක්නිසාදයත් ආර්ථික දියුණුව සංවර්ධනය ලෙස වටහා ගත් පාරම්පරික චින්තනය මේ වන විට යල්පැන ගොස් අවසන් නිසාය. නැතිනම් ආර්ථික වාසිය පිලිබද අවධානය යොමු කරන විට අනෙක් සාධක සදහා යම් තර්ජනයක් එල්ල වන නිසාය. ගොවිතැනේදී නම් ආර්ථික ලාභය සදහා කෘමිනාශක යොදා අස්වැන්න වැඩි කොටගෙන එය සංවර්ධනයක් ලෙස අර්ථ කතනය කලද සැබැවින්ම පාරිසරික වශයෙන් එම දියුණුව අස්ථාවර වන නිසාය.

මෙනිසා පෙර සදහන් කල අයුරින් සෑම ක්‍රියාවක්ම සමාජීය, ආර්ථික හා පාරිසරික සාධක මත ඇගයීම මගින් ඒවා තිරසාර සංවර්ධනයක් කරා මෙහෙයවීම යුගයේ අවශ්‍යයයතාවයක් බව වටහා ගත යුතුවේ.

තිරසාර සංවර්ධනය හා බැදි බුද්ධිමත් සාකච්චාවක් ඇති කිරීමට මෙම ලිපි පෙල පදනම් වනු ඇති බව බූඩිගේ අදහසයි.